22_කවයට තව අය

අපි තුන්දෙනා රෑ එකොලහ වෙනතුරු අලුත එකතුවූ තොරතුරු සාකච්ඡා කරා. මම සාරාංශය දුන්නේ දවසේ අන්තිම බීම ටික වීදුරු වලට දාලා.

“දැන් තත්වේ මෙහෙමයි… ෆැක්ස් තිස් අටෙන් තිහක්ම ඒ තරම් හෙල්ප්ෆුල් නෑ … ඒ අය මේ රටවල් ගැන දන්නවා කියලා හිතන්න අමාරුයි. එයින් බොහොම දෙනෙක් කිව්වේ බෝගන්විල් කියන්නේ මල් ජාතියක් මිස දූපතක් නෙවෙයි කියලා! සීශෙල්ස් ගැනත් එහෙම ගොං සිප්පිකටු ගැන කතා කියවුනා. ශ්රී ලංකාව ගැන හොඳ කීපයක් තිබුනා - ඒ ඉන්දියානු හින්දු යෝගි ගුරෙක් කියලා - ඒ ‘ශ්රී’ කෑල්ල නිසා. මැඩගස්කා, කිරිබති දන්න කෙනෙක් නෑ ඒ අතරේ… මං හිතන්නේ අපිට ඒ තිහ අමතක කරලා දාන්න පුළුවන්… මොකද කියන්නේ?”

නීලා වහාම එකඟවුනා. මලික් කිව්වේ ඒවා විසි නොකර ගබඩා කරලා තියාගන්න වටිනවා කියලා.

“අපිට ඉඳලා හිටලා හිනාවෙන්න වත් ඒවා උදව් වෙයි!”

“රයිට්. එතකොට අපිට තව අටක් තියෙනවා… එතනින් එක ෆැක්ස් එකකින් බෝගන්විල් වලින් ආපු හය දෙනෙක් අපිට එකතු වෙනවා - මයිනිං ස්ටුඩන්ට්ස්. එයින් හතර දෙනෙක් බ්රිස්බන්, දෙන්නෙක් මෞන්ට් අයිසා මයින් එකේ. ඒ හය දෙනා එකට කතාකරගෙන ඒ අයගෙම කවයක් එහෙම හදාගෙන මේ ෆැක්ස් එක එවලා තියෙන්නේ. හයදෙනාගෙම නම්, ටෙලිෆෝන් නොම්බර එහෙම මේ ලයිස්තුවේ…”

“මැඩගස්කා වලින් දෙන්නෙක් ඉන්නවා, සීශෙල්ස් වලින් එක්කෙනෙක් ඉන්නවා, ලංකාවෙන් කවුරුත් නෑ”

“ඒ කියන්නේ, ෆැක්ස් තිස් අටෙන් හතරක් නීලා දීපු රටවල් වලින් අලුත් අය අපිට හඳුන්වා දෙනවා - නව දෙනෙක්ම. අපි නැතිවෙලා කියලා දැනට දන්න රටවල් වලින් අලුත් සාමාජිකයෝ නවදෙනයි. වෙරි ගුඩ් නිවුස්! විශේෂයෙන්ම බෝගන්විල් කට්ටිය දැනටම එකතු වෙලා ඉන්න එක් හොඳ ලකුණක්… දැන් බලමු ඉතුරු ෆැක්ස් හතර…”

අපි තුන්දෙනාම බීම උගුර බැගින් ගත්තා.

“ඒ හතරෙන් එකක් කැනේරි දූපතෙන්, ඩේවිඩ් ඩෙල්ගාඩෝ කියලා කෙනෙක් - මෙල්බන් ඉන්නේ. කැනේරි දූපත් තිබුන තැනත්, ඒවා ස්පාඤ්ඤයෙන් පාලනය වෙන බවත් ලියලා තියෙනවා. ඒ මෙසේජ් එකෙන්ම පේනවා මිනිහට තේරෙනවා රටවල් නැතිවුනාම ඒවා ගැන තොරතුරු සොයාගන්න අමාරු බව. කවයට වටිනා එකතුවක්!”

“ඊලඟ තුන් දෙනා බටහිර ඉන්දියානු දූපත් දෙකකින් - බාබේඩොස් සහ මොන්ට්සරාට් වලින්. බාබේඩොස් වල ශෙලී පීටසන් ගැන තමා මලික් ඉස්සරවෙලාම දැක්කේ. අනික් තුන්දෙනාගෙ නම් එහෙම ලයිස්තුවේ…. මං හිතන්නේ මෙතන හරිම වැදගත් ශෙලී එයා දන්න තව රටවල් දෙකක් නම් කරා ඒවගෙන් කවුරුත් අපි කොන්ටැක්ට් කරේ නැතුවට. මට තේරෙන විදිහට අපි බෝගන්විල්, මැඩගස්කා එහෙම දල්පතාදු ක්රමයෙන් සොයා ගත්තා වගේ, ශෙලී එයා දන්න තව දූපත් ගැන සොයලා, ඒවා නැති බව නෝටිස් කරලා… මේකේ වටිනාකම තේරෙනවා නේද?”

මලික් ව්යාකූල මුහුණක් පෙන්නුවා.

“එයා එයාගෙ රට අවට තියෙන දූපත් අපිට වඩා හොඳට දන්න බව?”

“ඒක එකක්, නමුත් ඒකේ ඊලඟ අඩිය තමා දැනට ලිස්ට් එකේ තියෙන රටවල් සේරම, ඒ කියන්නේ දූපත් දහයම, දාලා අලුත් නෝටිස් එකක් දාන එක. එහෙම දැම්මොත් අපි දන්න ‘නැති රටවල්’ ගණනත් ඒවගෙන් ඔස්ට්රේලියාවට ඇවිත් ඉන්න අය ගණනත් ඉක්මනට වැඩි වෙනවා… නේද? හිතලා බලන්න ෆිලිපීනෙන් නැත්නම් ඉන්දුනීසියාවෙන් ආපු අය අපි නොදන්න දූපත් කී දාහක් දන්නවා ඇතිද? මට හිතාගන්නත් අමාරුයි! … ඒ වගේම අර ශෙලී පීටසන් කරා වගේ ඔස්ට්රේලියාවේ නැති අයගෙ රටවලුත් ලයිස්තුවට එකතුවෙයි”

නීලගෙ ප්රතිචාරය ඉතා ප්රායෝගිකයි.

“අපිට ඔෆිස් එකකුයි ක්ලාක්ලා ගොඩකුයි ගන්න වෙයි!”

මලික් වැදගත් ප්රශ්නයක් ඇහුවා.

“වැඩි වැඩියෙන් රටවල්, මිනිස්සු එහෙම අපෙ කවයට එකතුවුනා කියලා මොකද්ද වෙන ලොකු ප්රතිඵලේ?”

“ඒකයි වැදගත්ම දේ මලික්! අපි කිරිබති දූපතයි ලංකාවයි සංසන්දනය කරලා තමා රටවල් නැතිවුන වෙලාව ගැන තාවකාලික තීරණයක් ගත්තේ ඒ ඒ රටේ රෑ දොලහටයි රට අතුරුදහන් වෙන්නේ කියලා. රටවල් දෙකක සාම්පල් සයිස් එක මදි නියමිත තීරණයක් ගන්න. නමුත් දැන් අපිට තියෙනවා… දූපත්… හතරයි… හයයි… දහයක්. ලෝකේ වටේම පිහිටලා තියෙන දූපත්. ඒ අයගෙන් රටවල් නැතිවුන වෙලාවල් හරියට දැනගත්තොත් අපිට දැනට වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි රටවල් නැතිවීගෙන ගිය පිළිවෙල…”

“ලලිත් ඔය කියන්නේ අර එක ඉවෙන්ට් එකකින් රටවල් සේරම අතුරුදහන් වුනාද නැද්ද කියන තියරි එක ටෙස්ට් කරන්නද?”

“ඒක එකක්… එතකොට අපිට පුළුවන් වෙයි… සමහරවිට පුළුවන් වෙයි… තව රටවල් නැති වෙයිද? නැතිවුන රටවල් ආපහු එයිද? එහෙම දේ සිද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඒවා මොන පිළිවෙලකට, කවදා වෙයිද කියලා ප්රෙඩික්ට් කරන්න… අඩු ගණනින් ඒවා ගැන හිතලා බලන්නවත් පුළුවන් වෙයි කියලා තමා මං හිතන්නේ…”

………………………………..

ඉරිදා නත්තලට පස්සේ 27 අඟහරුවාදා අම්මට ආයෙත් වැඩට යන්න සිද්ධවුනා. ඒත් එක්ක නංගිත් ටවුමට යන්න ඕන කිව්වේ ඊලඟ සතියේ වැඩ පටන්ගන්න තව ඇඳුම් එහෙම ගන්න බලාගෙනයි. සඳුදා රෑ ඒ ගැන කතා කරනකොට මල්ලී තව අදහසක් ඉදිරිපත් කළා.

“ඇයි අයියා අපිත් ටවුමට යන්නෙ නැත්තේ? අක්කත් ඉන්න නිසා අර බාත් රූම් වලට ඕනෑ බඩු එහෙම තෝරාගෙන ඕඩර් කරොත් නරකද? සාප්පුවල බඩු නැතත් ඕඩර් කරොත් බාස්ලා හම්බවුන ගමන්ම වැඩ පටන්ගන්න පුළුවන්”

“පයිප්ප, සිමෙන්ති එහෙම ගන්න නංගී මොකටද?”

“අපෝ ඒ වගේ දේ බාස්ලත් එක්ක කතා කරගෙන, ඕනෑ ඕනෑ ප්රමානෙට මේ කිට්ටුවෙන් ගන්ට පුළුවන්, නුවර නොයා. අක්කට කියන්ට පුළුවන් සෙරමික් බඩු - කොමෝඩ්, වොශ් බේසින්, ටැප් වගේ දේ ඕන හැඩේ, පාට එහෙම…”

“ඔවු අනේ - රෝස පාට වොශ් බේසින් එහෙම අපිට එපා!”

අන්තිමට අපි හතර දෙනාම උදේම එක බස් එකේ නුවර යන්න පිටත්වුනා. අම්මා කෙලින්ම වැඩට ගියේ දවල් කෑමට මගෙ නවාතැනට එන්න පොරොන්දු වෙලා. අම්මා අද වැඩට ආවේ වැඩවාර සටහනේ හිටපු මිත්ර හෙදියට අද උදේ වරුවේ වෙන පවුලේ වැඩක් යෙදිලා තිබෙන නිසා ඒ වෙනුවටයි. ගෙදර ටෙලිෆෝන් එකක් තිබීමේ එක අවාසියක් හැටියටයි මම ඒක දැක්කේ - අම්මට ටෙලිෆෝන් පනිවිඩේ ආවේ සඳුදා දවල්.

නංගිට සෙරමික් බඩු තෝරා දෙන්න ගියේ බොහොම සුළු වෙලාවයි. එයට එක හේතුවක් නංගී හැම දේම ගැන දාහක් ප්රශ්න අහලා භාණ්ඩ සීයක් බලන කෙනෙක් නොවීමයි. දෙවෙනි හේතුව තේරීමට ඇති භාණ්ඩ එකතුව ඉතා සීමිත වීමයි. තේරීම අවසානවූ වහාම නංගී එයාගෙ බඩු ගන්න පිටත්වුනේ දවල් කෑමට හමුවෙන බලාපොරොත්තුවෙන්.

මල්ලියි මමයි තව ගෙදරට ඕන බඩු ටිකකුත් අරගෙන තේ එකක් බොන්න හිතුවා.

“අයියගෙ ෆ්ලැට් එකට බඩු මොනවත් ඕනද?”

“ඇයි එහෙම ඇහුවේ?”

“නෑ දැන් අක්කයි අම්මයි එහාට නම් දවල් කෑමට එන්නේ, අපි එහාට ඕන දේත් අරගෙන එහෙන් තේ බොමු. අනික, ටවුමෙන් තෝසේ ටිකක් අරගෙන ගියොත් දවල් කෑමත් හොඳටම ලාබයි!”

මල්ලිගෙ කතාව වෙනදා වගේම බුද්ධිමත්. වියදමෙන් තෘප්තිය මනින්න නොහැකි බව මට ඉස්සර මල්ලී තේරුම් අරගෙන ඇති බව පැහැදිලියි.

නවාතැනට අවශ්ය කෑම බීම ටිකකුත් දවල් කෑමට තෝසෙත් අරගෙන වැව රවුමේ මාලිගාව ඉස්සරහින් යනකොට කවුදෝ මගේ නම කියනවා මට ඇහුනා, ගහැනු කටහඬකින්. මම නැවතිලා බැලුවට දන්න කෙනෙක් පෙනෙන්න හිටියෙ නෑ. නමුත් පදිකවේදිකාවේ ඇවිදමින් සිටි සුදු ඇඳගත් පිරිසකින් එක ගෑනු ලමයෙක් හිනා වෙමින් ඉස්සරහට ආවා.

“හලෝ ලලිත්!”

“නීලා? නිවාඩුවට ඇවිල්ලද නැත්තං බ්රිස්බන් වැඩ ඉවරද?”

“නිවාඩුවට ආවේ… මාලිගාවට ආවා පුළුවන් වෙලාවේ”

“නීලගෙ ගෙවල් මෙහෙද? ආ… සොරි… මේ මගෙ මල්ලී අනුර… මල්ලී මේ නීලා, අපිත් එක්ක බ්රිස්බන් හිටියේ”

“හලෝ නීලා”

මල්ලී එයාගෙ හොඳම හිනාව ඉස්සරහට දැම්මා.

“හලෝ අනුර… ලලිත් මේ මගෙ අම්මයි තාත්තයි, මේ සුනිල් - මගෙ කසින් කෙනෙක්”

“හලෝ හලෝ… සන්තෝසයි හඳුනගන්න… නීලා එහෙම නුවර පැත්තේ කියලා මම දන්නෙත් නෑ!”

“නෑ නෑ… අපි කළුතර. නිවාඩුවට අවහම සුනිල් අයියා කිව්වා නුවර යමු කියලා. ඉතින් ආවා - හෙට දඹුල්ල සීගිරි එහෙම ගිහින්… ලලිත් ඉන්ටරස්ටඩ් නෑ නේ අපෙ නිවාඩු ගැන! දැන් ආපහු ඇවිත් මාස තුනක් විතර ඇති නේද? මට සනත් කිව්වා”

“හරියටම මාස තුනයි… නුවරමයි වැඩ කරන්නේ…”

මල්ලී මගෙ කතාවට බාධා කළා - නැවතත් මොලේ පාවිච්චි කරලා.

“එක්ස්ක්යුස් මී… අයියා මම යන්නම් ෆ්ලැට් එකට. අයියා අමුත්තන්ට තේ එකක් වත් අරගෙන දුන්නොත් හොඳයි නේද - නුවරත් ඇවිල්ලා!”

නීලගෙ දෙමව්පියෝ ‘ඕන නෑ’ කිව්වට ඒක හොඳ අදහසක් කියලා මට හිතුනා. මාස තුනකට පස්සේ බ්රිස්බන් තොරතුරු ටිකක් අහගන්න මට ආසාවකුත් ඇතිවුනා.

“හොඳ අදහස මල්ලී. අපෙ ගමට ඇවිත් තේ එකක්වත් නොබී යන්න බෑ - මට අම්මගෙන් බැනුම් අහන්න සිද්ධවෙයි! දැන් වැඳපුදාගෙන ඉවරනම් අපි තේ එකක් වත් බොමු… නැත්නම් දවල් කෑම?”

“නෑ නෑ ලලිත්… ඕන නෑ!”

නීලගෙ කසින් සුනිල් මගෙ පැත්තට කතා කළා.

“මම නම් තේ එකක් දුන්නොත් මගෙ රජකම වුනත් පාවා දෙන්න ලෑස්තියි! අපිට දවල් කෑම මාතලේ - තව වෙලා තියෙනවා. කොහෙද ලලිත් ලඟම තේ කඩේ?“

“එම්පයර් එකේ තේ හොඳයි - අර පේන මානේ. මටත් ආසයි බ්රිස්බන් තොරතුරු එහෙම දැනගන්න”

ඊට පස්සේ තේ බීමට කවුරුත් විරුද්ධ වුනේ නෑ. ශෝට් ඊට් සමග තේ හොඳට අලෙවි වුනා.

“ඉතින් ලලිත් කොහෙද යුනිවසිටිද වැඩ?”

“නෑ නීලා. මගෙ යාළුවෙක්ගෙ කොන්සල්ටන්සි එකක් තියෙනවා - ඒකේ වැඩ පටන්ගත්තේ ලඟදී”

නීලගෙ තාත්තා ඊලඟට මම බලාපොරොත්තු නැති ප්රශ්නයක් ඇහුවේ.

“ලලිත් ආපහු ඔස්ට්රේලියාවේ පදිංචියට යන්න අදහසක් නැද්ද? සොරි… මගෙ නම මාෂල් ෆනෑන්ඩෝ - නීලට අපි හරියට අඳුනලා දෙන්න අමතක වුනා. වයිෆ් නාලිනී, මේ සුනිල් විජේසේකර”

“තැන්ක්යූ… මම ලලිත් මීගස්තැන්න… මගෙ අදහසක් නෑ ආපහු රට යන්න - පදිංචියට යන්න. හිටපු අවුරුදු හතර හොඳටම ඇති!”

“නෑ මං ඇහුවේ ලංකාවට වඩා ආර්ථිකේ හොඳයි නේ එහෙ… මෙහෙ වගේ හිඟ පාඩු එහෙ නෑ නේ…”

“ඒක ඇත්ත මිස්ට ෆනෑන්ඩෝ … ජීවිතේ මෙහෙට වැඩිය ලේසි බව ඇත්ත… එහෙ ජීවිතේ කිසි වැරැද්දක් කියන්න බෑ. හැබැයි අපෙ පවුලේ අය මෙහෙ… අපෙ ගම මෙහෙ… වචන හරියට ගලපාගන්න බැරිවුනාට මම කියන්න හදන්නේ… මට මෙහෙ හොඳයි!”

පොඩි නිහඬතාවෙකින් පස්සේ සුනිල් කතා කරා.

“වෙල් සෙඩ්! අපිට ලලිත්ගෙන් ඔව්වා හාර හාරා අහන්න අයිතියක් නෑ! හැබැයි මාෂල් අන්කල් ඇහුවේ හුඟාක් අය අහන දෙයක්. රට යනවා කියන එක ලොකු දෙයක් - ඒක හැමෝටම බෑ. ඒකයි අපි දැනගන්න කැමති ඇයි ලේසි ජීවිතේක රස විඳලා ඇවිත් ආපහු යන්න ට්රයි කරන්නෙ නැත්තේ කියලා. මං හිතන්නේ දැනටම නීලගෙන් මිනිස්සු අහනවා ඒක! ඒ මෙහෙ බඩු හිඟ වගේ දේ වලින් තැලිලා ඇතිවෙලා…”

“මට ගාණක් නෑ කවුරුත් එහෙම ඇහුවට - හැබැයි මගෙ උත්තරේ මට හරි වුනාට අනික් අයට හරි නැතිවෙන්න පුළුවන්”

නීලා හිනාවුනා.

“හොඳ ඩිප්ලොමැටික් උත්තරේ! අර බ්රිස්බන් හිටපු සෙනරත් කිව්වා එක සැරයක් ලලිත් ඩිප්ලොමැට් කියලා!”

නීලගෙ කට්ටිය මාතලේ යන්න පිටත් කරලා මම නවාතැනට එනකොට මල්ලී නිදි! නංගී පොතක් කියවමින් තේ බොනවා. මම ඇතුල්වුන වහාම නංගී පොත වැහුවා.

“මොකද මේ මල්ලී කියන්නේ අයියගෙ පරණ කෙල්ලෙක් හම්බවෙලා මල්ලී දාලා තේ බොන්ට ගියා කියලා?”

………………………………….

නීලත් මලිකුත් සමග එකතු කරගත් අලුතින් කවයේ සාමාජිකයෝ වියහැකියන් ගැන මම සුරාජ්ට ටෙලිෆෝන් මගින් දැන්වුවා. අපිට වැඩි වෙලාවක් කතා කරන්න ලැබුනෙ නෑ; සුරාජ් පවුලේ අයත් සමග 28වෙනි අඟහරුවාදා නිවාඩුවට යන්න ලෑස්ති වෙමින් හිටියේ.

අපේ උත්සාහය ප්රශංසාවට ලක් කළ සුරාජ් අනාගත කටයුතු වලට වඩාත් සහය දීමට පොරොන්දුවුනා. මේ අනුව නීලාගේ උදව්වට කෙනෙකුට සතියකට පැය කිහිපයකට ගෙවීමක් කරන්නත් ඔහු ඉදිරිපත්වුන. ඊ ලඟ ටෙලිකොන්ෆරන්ස් එක ජනවාරි හත්වෙනි සෙනසුරාදට යොදාගන්නත් ඊට අලුත් සමාජිකයින්ට ආරාධනා කරන ලෙස මගෙන් ඉල්ලා හිටියා.

“ලලිත්ලා තමා මේක දුවන්නේ. මට පුළුවන් උදව් කරන්න හැබැයි වැඩේ ඩිරෙක්ට් කරන්නේ ඔයාලා… මට කියන්න තියෙන්නේ එකම දෙයයි - ඕල් ද බෙස්ට් - හැපි නිව්යියර් - ශ්රී ලංකන්ස්!”